News & Events Sri Lanka - Pan Asia Banking Corporation

News & Events

පෑන් ඒෂියා බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 300 ඉක්මවමින් අඛණ්ඩව දෙවන වසරටත් රුපියල් බිලියන 4 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

ශුද්ධ පොලී ආදායම: රුපියල් බිලියන 12.75 ( 5% ඉක්මවන වර්ධනයක්)

ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම : රුපියල් බිලියන 2.52 (37% ඉක්මවන වර්ධනයක් )

මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය: රුපියල් බිලියන 7.65

බදු පෙර ලාභය: රුපියල් බිලියන 5.82

බදු පසු ලාභය: රුපියල් බිලියන 4.01

කොටසක ඉපැයීම් : රුපියල්  9.05

මුළු වත්කම් : රු. බිලියන 308.02 (17% ඉක්මවූ වර්ධනයක්)

දළ ණය කළඹ : රු. බිලියන 217.12 (35% ඉක්මවූ වර්ධනයක්)

පාරිභෝගික තැන්පතු: රු.  බිලියන 231.04 (21% ඉක්මවූ වර්ධනයක්)

 

පෑන් ඒෂියා බැංකුව 2025 වසර  සඳහා ශක්තිමත් මූල්‍ය වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව  බැංකුවේ සමස්ත වත්කම් පදනම රුපියල් බිලියන 308 සීමාව ඉක්මවා ගිය අතර, ශේෂ පත්‍රය රුපියල් බිලියන 308.02 දක්වා වර්ධනය විය. එමෙන් ම අදාළ වර්ෂය තුළ වාර්තා වූ බදු පසු ලාභය රුපියල් බිලියන 4.01ක්  හා  කොටසක ඉපැයීම් රුපියල් 9.05ක් විය.

සමාලෝචිත වර්ෂය තුළ පෑන් ඒෂියා බැංකුව වාර්තා කළ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 16 දක්වා වර්ධනය වූ අතර,  සිය වසර 30ක ඉතිහාසය තුළ ශක්තිමත් ම වර්ධනය  වාර්තා කරමින් 2025 වසරේ දී බදු ගෙවීමෙන් පසු ලාභය, 2024 වසරේ දී හඳුන ගන්නා ලද, එක වර, නැවත සිදු නොවන ස්වෛරී බැඳුම්කර සම්බන්ධ ලාභය බැහැර කළ විට 35%ක වර්ධනයක්  සමඟින් රුපියල් බිලියන 4.01ක් ලෙසත්, බදු පෙර ලාභය  52% ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 5.82ක් ලෙසත් වාර්තා කිරීමට එම බැංකුව සමත් විය.

අදාළ වර්ෂය තුළ බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 37% කින් වර්ධනය වූ අතර, අදියර 3 ණය ආවරණ ප්‍රතිපාදන අනුපාතය 62.63% දක්වා ශක්තිමත් මට්ටමකට ළඟා විය. එමෙන් ම සමාලෝචිත කාල සීමාව තුළ බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව අඛණ්ඩ ව වර්ධනය වූ අතර, සමස්ත වත්කම් 17% කින් වර්ධනය විය. සමාලෝචිත වර්ෂය තුළ බැංකුවේ පාරිභෝගික තැන්පතු 21%ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 231.04ක් දක්වා ඉහළ ගිය අතර, වසර පුරා ද්‍රවශීලතාව ශක්තිමත් ව පවත්වා ගැනීමට බැංකුව සමත් වීම විශේෂත්වයකි. ඒ අනුව රුපියල් සඳහා 204.90% ක සහ සමස්ත මුදල් සඳහා 154.97% ක ද්‍රවශීලතා අනුපාතයක් පවත්වා ගෙන ගිය පෑන් ඒෂියා බැංකුව, 2025 වසර තුළ වාර්තා කළ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 18.27%කි. 

බැංකුවේ වසර 30ක ගමන් මඟ තුළ වාර්තා වු ඉහළ ම වර්ධනය පිළිබඳ ව අදහස් දක්වමින්  පෑන් ඒෂියා බැංකුවේ සභාපති අරවින්ද පෙරේරා මහතා පැවසුවේ, “2025 වසර පෑන් ඒෂියා බැංකුව සුවිශේෂී සන්ධිස්ථානයක් වාර්තා කළ වසරක්. එය අපගේ ශක්තිමත් වර්ධනය තුළින් ඉතා හොඳින් පෙන්නුම් කළා. අපි දශක තුනක ප්‍රගතිය සමරන විට, විනයගරුක පාලනයක් සහතික කිරීම, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, තිරසාර ආයතනික වටිනාකම් නිර්මාණය කිරීම ආදී ඉලක්කවලට අධ්‍යක්ෂ මණ්ඩලයේ දැඩි අවධානය යොමු වූ බව පැවසිය යුතු ම යි.  අපගේ ගනුදෙනුකරුවන් සහ ආයෝජකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය බැංකුවට වේගයෙන් විකාශනය වෙමින් අද්විතීය වර්ධනයක් කරා ගමන් කිරීමේ මඟ විවර කළ බව පැවසුවොත් මා නිවැරදියි. 2025 වසරේ දී අප අත්පත් කර ගත් මෙම වර්ධනය, දිගු කාලීන ප්‍රතිලාභ සහතික කිරීමට දායක වන අතර, මෙම වර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රගතිය සඳහා අඛණ්ඩ ව දායක වීමට අප නිරන්තරයෙන් කැප වන බව මේ අවස්ථාවේ දී අවධාරණය කිරීමට කැමතියි." යනුවෙනි.

මෙහි දී අදහස් දක්වමින් පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි නලීන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ, "2025 වසරේ දී පෑන් ඒෂියා බැංකුව පරිවර්තනීය වසරක් සනිටුහන් කරමින් වසර 30ක ඉතිහාසයේ ශක්තිමත් ම ශේෂ පත්‍රය වාර්තා කිරීමට සමත් වුණා. එහි දී 17% ක වර්ධනයක් සමඟින් අප වාර්තා කළ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 308ක්. ඒ වගේ ම 35%ක වර්ධනයක් වාර්තා කළ අපගේ ණය කළඹ රුපියල් බිලියන 217.12ක්. 2025 වසරේ දී පාරිභෝගික තැන්පතු රුපියල් බිලියන 231 ඉක්මවා ගිය අතර, එය අපගේ ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළ ම අගය බව පැවසිය යුතු ම යි. මෙම සුවිශේෂී වර්ධනය හරහා  අපගේ ආයතනික ප්‍රසාරණය, ශක්තිමත් තරගකාරිත්වය සහ අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වනවා."

 පෑන් ඒෂියා බැංකුව විශ්වාසයෙන් යුතු ව සිව්වැනි දශකයට පිවිසෙන විට, ශක්තිමත් ශේෂ පත්‍රයක්, පුළුල් වන පාරිභෝගික පදනමක් සහ තිරසාර වර්ධනයක් තුළ අඛණ්ඩ වර්ධනයක් කරා ගමන් කරමින් සිටින බව පැවසිය යුතු ම කරුණකි. එමෙන් ම පෑන් ඒෂියා බැංකුව දිනෙන් දින වාර්තා කරන වර්ධනයත් සමඟින් ඉදිරි වසරවල දී ගනුදෙනුකරුවන්ට, කාර්ය මණ්ඩලයට සහ කොටස් හිමියන්ට දිගු කාලීන වටිනාකම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. 

ඡායාරූපය : පෑන් ඒෂියා බැංකුවේ සභාපති අරවින්ද පෙරේරා මහතා සහ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා

Quick links

Tools & Calculators

Internet Banking

Branch Network

Applications

Exchange Rates

E-statements

Skip to content